විවාහය ප්‍රමාද කරවන ග්‍රහ පිහිටීම්

කේන්දරයේ විවාහය පිළිබඳව ප්‍රධාන වශයෙන් නිවේදනය වන්නේ ලග්නයෙන් හත්වැන්නේ වූ විවාහකස්ථානයයි. එහෙත් හත්වැන්නට අමතරව කේන්දරයේ විවාහ කලාපයන් වන 1,2,4,8,12 යන ස්ථානයන්ද, 5 සහ 3,6,12 යන රාශි පිළිබඳවද විවාහ කටයුතුවලදී විශේෂ අවධානයක් යොමුකරන අතර, සමස්තයක් වශයෙන් රාශි 12 පිළිබඳවම සැලකිල්ලක් දක්වනු ලැබේ. විවාහකාරක සිකුරුද, පුත්‍රකාරක බ්‍රහස්පතිද, මනසට අධිපති සඳුගේද තැන්පත් වීම මෙන්ම හත්වැන්නාධිපතිගේ බල දුබලතාවයන් සේම තැන්පත් රාශිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළයුතු වේ. එමෙන්ම රවි, කුජ, ශනි, රාහු හා කේතු යන පාපග්‍රහයන්ගේ රාශීන් තුළ තැන්පත් වීම, සංයෝග වීම ග්‍රහ දෘෂ්ටි ඇතුළු විවිධ පැතිකඩ ඔස්සේ විවාහයකට සුබ තත්ත්වයන් මෙන්ම අසුබ තත්ත්වයන් උදාකරන ග්‍රහ බලපෑම් පිළිබඳව නිගමනය කළයුතු වේ.  ප්‍රබල විවාහ දෝෂයක් සේ සලකන අඟහරු හෙවත් කුජ දෝෂය පිළිබඳව මුලින්ම විමසීමක් කරමු. කිසියම් කෙනෙකුගේ උත්පත්ති කේන්දරයේ කුජ 1,2,4,7,8,12 යන රාශියක තැන්පත්ව සිටීමෙන් කුජ දෝෂය හට ගනී. කුජ යනු විවාහයට යම් බලපෑමක් කරන ග්‍රහ ලොව සෙන්පතියා සේම සටනට සහ කාමයට අධිපතීත්වය දරන, විවාහයට කරදර දුක් කම්කටොලු ඇති කරමින් විවාහය ප්‍රමාද කරවන ග්‍රහයෙකි. එහෙත් එය එතරම් බිය විය යුතු කාරණයක් නොවන්නේ කුජ දෝෂය භංග වන ක්‍රමවේදයන් රාශියක් ජ්‍යෝතිර්වේදයේ සඳහන් බැවිනි. ඒ අනුව කිසියම් කේන්දරයක කුජ ග්‍රහයා 1,2,4,7,8,12 යන රාශියක තැන්පත්ව ඇත්නම් එයට යෝජිත කේන්දරයද එවැන්නක් වීම තුළින් කුජ දෝෂය භංග වේ.

තවද කුජ දෝෂය ඇති කේන්දරයට කුෂ දෝෂය නැති කේන්දරයක් යෝජිත අවස්ථාවේදී කුජ දෝෂය තිබෙන කේන්දරයේ කුජ තැන්පත් ස්ථානයට අනුපාතව දෝෂ නොමැති කේන්දරයේ එම ස්ථානයේ පාප ග්‍රහයයෙක් සිටී නම් කුජ දෝෂය භංග වේ.

කුජ හතරවැන්නේ සිටින විට හතරවන රාශියේ මකර, කටක, මේෂ, වෘශ්චික නම් කුජ දෝෂය ඇති නොවේ.

කුජ දෙවැන්නේ සිටින විට දෙවන රාශිය මිථුන හෝ කන්‍යා නම් කුජ දෝෂය ඇති නොවේ.

කුජ අටවැන්නේ සිටින විට අටවන රාශිය ධනු හෝ මීන නම් කුජ දෝෂය භංග වේ.

කුජ දොළොස්වැන්නේ සිටින විට දොළොස්වන රාශිය වෘෂභ, තුලා, මිථුන, කන්‍යා නම් කුජ දෝෂය ඇති නොවේ.

එක් කේන්දරයක කුජ සිටින රාශියේ අනෙක් කේන්දරයේ එම රාශියේ හෝ භාවයේ ශනි, රාහු, කේතු යන ග්‍රහයෙක් සිටී නම් දෝෂ භංග වේ.

දෝෂ ඇතිවන කුමන භාවයක හෝ (1,2,4,7,8,12) කුජ සිටියත්, එය චර රාශියක් වූ විට (මේෂ, කටක, තුලා, මකර) දෝෂ භංග වේ.

දෝෂ ඇතිවන කුමන භාවයක හෝ කුජ සිටියත්, එම භාවය කුම්භ හෝ සිංහ නම් දෝෂ ඇති නොවේ.

කුජ දෝෂය ඇති හඳහනක ලග්නයේ ගුරු, සිකුරු යන ග්‍රහයෙකු බලවත්ව සිටින විට කුජ දෝෂ ඇති නොවේ. (උච්චව, මිතුරුව, ස්වක්ෂේත්‍රව හෝ සුබ දෘෂ්ටි ලැබ)

ගුරු විසින් කුජ දැකීමෙන් (ගුරු සිට 5,7,9 වැන්නේ කුජ සිටීම) හෝ ගුරු කුජ සමග යෝග වූ විට කුජ දෝෂ ඇති නොවේ. (අංශක පහකට වඩා ගුරු කුජ ළංව සිටීම යෝග වීම වේ.)

උත්පත්ති කේන්දරයේ කුජ නීචව හෝ අස්ථව (හිරුගේ රශ්මියෙන් කුජ වැසී යාම) වක්‍රව සිටින විට දෝෂ ඇති නොවේ.

මෙවැනි ආකාරයෙන් කුජ දෝෂය භංග කරගත හැකිය. ශනි මංගල යෝගයද විවාහයට අයහපත් ප්‍රතිඵල ළඟා කර දෙන්නකි. ශනි සහ කුජ කේන්දරයේ කොතැනක හෝ සංයෝග වී ඇත්නම් කුජ සහ ශනි අන්‍යෝන්‍ය වශයෙන් දෘෂ්ටියට ලක්වීමෙන් ශනි මංගල යෝගය උදා වේ. මෙම දෝෂය තදින්ම බලපානු ලබන්නේ කේන්දරයේ 1,2,4,7,8,12 යන රාශීන් තුළ ග්‍රහයන් දෙදෙනා අතර අංශක පහකට වඩා අඩුවෙන් එකිනෙකට සංයෝග වී සිටීමයි. මෙවැන් දෝෂයකදී එවැනිම දෝෂ ඇති කේන්දරයක් සමග ගැළපීමෙන් දෝෂ භංග කරගත හැකිය. එමෙන්ම චන්ද්‍ර මංගල යෝගය හෙවත් ශනි මංගල යෝග සඳු සහ අඟහරු යන දෙදෙනාම ඒකරාශි වී හෝ සප්තමව සිටීමෙන් චන්ද්‍ර මංගල යෝගය සෑදේ. මෙය සාමාන්‍ය ජීවිතයට යහපත් වුවද විවාහයකට දෝෂ සහගත බවක් ඇති කරයි. සඳුගෙන් හත කුජ සිටීම දෝෂයක් බැවින් චන්ද්‍ර මංගල යෝගය සහිත අවම සඳු සහ කුජ අතර සංයෝගයක් හෝ දෘෂ්ටිමය සම්බන්ධතාවයක් සහිත කේන්දරයක් ගළපා ගැනීමෙන් මෙම දෝෂය භංග කරගත හැකි වේ. එමෙන්ම ශනි සහ රාහු හත්වැන්නට සම්බන්ධ වීම හෝ ඔවුන්ගේ දෘෂ්ටිමය සම්බන්ධතාවයක් හත්වැන්නට යොමු වී ඇත්නම් එයද යම් දෝෂ සහිත වේ. කුජ සහ සිකුරුගේ යෝග වීම අධික කාම යෝගයක් ලෙස හඳුන්වන අතර, මෙවැනි යෝග සහිත අය හට කුජ සහ සිකුරු අතර දෘෂ්ටිමය වශයෙන් හෝ සම්බන්ධතාවයක් ඇති කේන්දරයක් ගළපා ගැනීම යෝග්‍ය වේ.

තවද කඩහන්දි දෝෂය නමින්ද දෝෂයක් පවතින අතර, මෙම දෝෂය සන්ධි දෝෂයක් ලෙසද හඳුන්වනු ඇත. කඩහන්දි දෝෂ වර්ග දෙකක් ඇති අතර, දෙදෙනාම එකම ආසන්න කාලසීමාවක එකම ග්‍රහයෙකුගේ මහ දසාව ලැබීම දශා සඳේ දෝෂය ලෙස හැඳින් වේ. මෙම දෝෂය දසාව ලබා ටික කලක් ගත වූ පසු දශාසන්ධි දෝෂය මගහැරෙන බැවින් විවාහයට බාධාවක් නොමැත. අනෙක් කඩහන්දි දෝෂය නම් දෙදෙනාම අවුරුදු 19, 29, 39 වැනි නවයේ කඩඉම් පසු කිරීමයි. එයද වසරක් පමණ ගත වූ පසු දෝෂය භංග වේ. එමෙන්ම නාෂාංශක ලෙස දෝෂයක් පවතින අතර, නාෂාංශ යනුවෙන් හැඳින්වෙන්නේ විනාශකාරී නවාංශකයයි. එනම් කේන්දරයක හත්වැන්නාධිපති ග්‍රහයා සිටින නවාංශකය එම ග්‍රහයා සිටින රාශියට අදාළව නාෂාංශක නවාංශකයක් වුවහොත් එම කේන්දරයේ නාෂාංශක දෝෂය ඇත. පුරුෂ රාශියක හත්වැනි නවාංශකයෙත්, ස්ත්‍රී රාශියක තුන්වැනි නවාංශකයේත් නාෂාංශ නවාංශකය ඇත. යමෙකුට නාෂාංශ දෝෂය ඇත්නම් සතුටුදායක ජීවිතයක් අහිමි වේ. සඳු සිටින රාශියේ අධිපති ග්‍රහයන් මිත්‍ර වන අයෙකුගේ කේන්දරයක් ගැළපීමෙන් එම දෝෂ අවම කරගත හැකිය. එමෙන්ම සෙනසුරු සිටීම බලවත් පිහිටීමක් වන බැවින් එවැනි කේන්දරයකට සෙනසුරු හත්වැන්නේ හෝ පළමුවැන්නේ සිටින අයෙකුගේ හෝ හත්වැන්නේ පාපියෙක් සිටින කේන්දරයක් ගළපා ගත හැකිය.

තවද ස්ත්‍රීන් සම්බන්ධයෙන් යෙදෙන විසකන්‍යා යෝගය පිළිබඳවද සමාජය තුළ යම් බියක් දක්වනු ලැබේ. ස්ත්‍රිය උපත ලබා ඇති දිනය, නැකත සහ තිථිය අනුව මෙය ගණනය කරනු ලබන අතර, රවි දිනක දොළොස්වන තිථිය සමගින් සියාවස නැකතකින්ද, කුජ දිනක දෙවන තිථිය සමගින් සියාවස නැකතකින්ද, ශනි දින දෙවන තිථිය සමගින් අස්ලිය නැකතකින්ද, ශනි දින හත්වන තිථිය සමග කැති නැකතකින්ද උත්පත්ති සිදුවීම අයහපත් බවත්, හත්වැන්නාධිපතියා හත්වැන්නේත්, ලග්නයේ හෝ චන්ද්‍ර ලග්නයේ සුබ ග්‍රහයෙකු සිටීම, ලග්නය ස්ත්‍රී රාශියක් වී බුධ, ගුරු, සිකුරු, සඳු බලවත්ව සිටීම දෝෂය භංග වන බව සඳහන් වේ. එසේම වැන්දබු, බහු විවාහ, අවිවාහක, සරාගී දෝෂ, කලු කුමාර දෝෂ, ප්‍රසූත දෝෂ, ලේ ඥාති දෝෂ, වඳ දෝෂ, චාරිත්‍ර දෝෂ වශයෙන් දෝෂ ගණනාවක් ඇත.

පුරුෂ කේන්දරයේ සඳහන් ස්ත්‍රී මර යෝග අතරින් පුරුෂ කේන්දරයේ ලග්නයෙන් හෝ චන්ද්‍ර ලග්නයෙන් 7, 8 යන භාවයක ශනි, රාහු, කුජ, රවි යන පාප ග්‍රහයන් තැම්පත් වී සිටීම, මෙම ග්‍රහයන් සිවුදෙනාම තැම්පත් වීම ප්‍රබල වන අතර මින්, දෙදෙනෙකුවත් 7 හෝ 8හි සිටීමෙන් මෙම තත්ත්වය උදා වේ. එක් ග්‍රහයෙකු සිටීම ප්‍රබල නොවේ. 07 වැන්නේ සිටින කුජට ශනිගේ දෘෂ්ටිය වැටීම, ලග්නාධිපති 6,8,12 දුර්වලව ( නීච, සතුරු) සිටීම, 7 වැන්නේ සඳු ශනි යෝග වීම අයහපත් වේ. ස්ත්‍රී කේන්දරයේ පුරුෂ මර යෝග වශයෙන් ලග්නයෙන් හෝ චන්ද්‍ර ලග්නයෙන් 7 හෝ 8 ශනි, රාහු, කුජ, රවි තැම්පත් වීම, සඳු 6,8,12 දුර්වලව සිටීම හෝ කුමන භාවයක වුවද පාපකාරීතර වීම, (සඳුට දෙපැත්තේ රාශිවල අසුබ ග්‍රහයන් තැම්පත් වීම) 8 වැන්නේ සඳු සිටීමත්, නීච සිකුරු 12 වැන්නේ තැම්පත් වීමත් රාශීන් සහ ස්ථානවල සිටීම විවාහයකට අසුබ ප්‍රතිඵල ළඟා කර දෙනු ඇත.

එහෙත් උත්පත්ති කේන්දරයේ කුමන ආකාරයකින් අසුබව ග්‍රහයන් පිහිටීම, සංයෝග වීම, දෘෂ්ටි සම්බන්ධතාවයන්ට ලක් වීම වැනි කාරණාවන් යෙදී ඇතත්, එය ඔබගේ විවාහයට යම් බාධාවක් වීම වළක්වා ගැනීමට හැකියාව පවතී. මන්ද කේන්දරයක ග්‍රහයන්ගේ අසුබ පිහිටීම මෙන්ම එම අසුබතාවයන් මඟහරවාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ජ්‍යෝතිර්වේදය තුළ ඉපැරණි ග්‍රන්ථ පරිශීලනයේදී දක්නට ලැබේ.

එසේම විවාහයක් තුළින් වාසනාවන්ත දූ පුතුන් සමාජයට දායාද කිරීම සියලුදෙනාගේ සිහිනයක් බැවින් දරු ඵල පිළිබඳව 5 වැන්නේ සහ චන්ද්‍රයාගෙන් හා ගුරුගෙන් විමසා බැලිය යුතුය. චන්ද්‍රයා ගුරු, සිකුරුවල සිටීම දරු ඵල ලබාදෙන අතර, රවි, කුජ, ශනි, දරු ඵල හීන කරයි. කටක, වෘශ්චික, මීන රාශී දරු ඵල වැඩි කරයි. වෘෂභ, තුලා, ධනු රාශිවල සහ අධිපති හෝ චන්ද්‍රයා සිටීම දරු ඵල මධ්‍යස්ථ වන අතර, මිථුන, සිංහ, කන්‍යා, මේෂ, ධනු, මකර, දරු ඵල හීන කරයි. 5 වැන්නේ දුර්වල පාප ග්‍රහයන් දරුවන් පිළිසිඳ ගැනීම හා ප්‍රසූත දෝෂ ඇති කරවයි. එමෙන්ම රවි, ශනි 07 සිට පාපකාරීතර වීම, කුජ 5 පාපයන්ට මැදි වූ විට 5 සහ 9 භාවාධිපතීන් සහ පුත්‍රකාරක ගුරු දුබල වූ විටද, කුජ 7 ද ශනි ලග්නයේද වී නම් 5 වැන්න අධිපතියා කුජ, ශනි සමග සිටීම, කුජ, ගුරු සමග පාප ග්‍රහයෝ 8 සිටීම, 8 සිංහයා වී රවි එහි සිටීම, ශනිගේ රාශියේ රවි සිටීම, ගුරු පාපයන්ට මැදිවීම, ශනි ලග්නයේද ග්‍රහයන් 5 ද ජල රාශියක් වූ 7 ශනි සිටීම, 9 පාපයන්ට මැදි වී පාප ග්‍රහයන් 9 සිටීම, 6 අධිපතියා දුර්වල වී ලග්නගත වීම දරු ඵල අහිමි කරන වඳ යෝග වේ.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
en_GBEnglish (UK)
× WhatsApp