රාහු, කේතු 7 පිහිටීම

විශේෂයෙන්ම රාහු, කේතු 7 වැන්නේ සිටීම එතරම් යුගදිවියට සුබ නොවේ. චංචලත්වය ඇතිකරයි. සමහර විට රාහු කුජට එකතු වූ විට සැමියාට රහසිගතව වෙනත් සබඳතා ඇතිකරගන්නීය. ආශාවන් අධිකයි. ගුප්තයි.

සිකුරු ග්‍රහ සංයෝග

සිකුරු ග්‍රහ සංයෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් සිකුරු ග්‍රහයා පිළිබඳ මදක් විමසා බලමු. නවග්‍රහයින් අතරෙන් අහිංසක සෞම්‍ය ග්‍රහයා සිකුරුය. තලඑළලු තරුණ කාන්තාවකගේ රූපයෙන් පෙනී සිටින සිකුරු වටිනා වස්ත්‍රාභරණ පැළඳ සිටියි. නිතරම ප්‍රිීතියෙනුත් කෞශල්‍යභාවයෙන් යුතුව සිටියි. දෙවියන් අතර සිකුරු හඳුන්වන්නේ අසුරු ගුරු නමිනි. සිකුරු සුරගුරු නමින් හෙවත් දෙවියන් ගුරුන්වහන්සේ නමින් හැඳින්වෙන බ්‍රහස්පතිගේ දරුවෙකු හැටියට ඥාති සම්බන්ධකම් පවත්වයි. 
 
මෙවන් ගති ලක්ෂණ ඇති සිකුරු දිව්‍යා රාජයාට ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයින් සංයෝග වූ පසු ඇතිවන හොඳ නරක අපි දැන් විමසා බලමු.  


සිකුරු – රවි සංයෝගය  


මේ සංයෝගයෙන් උපන් තැනැත්තා සංගීතයට ඇලුම් කරන මේ ශාස්ත්‍රය දන්නා කෙනෙක් වේ. අත මිට මුදලින් සරු ස්ත්‍රීන්ගේ ඇප උපකාර ලබන වාසනාවන්ත විවාහයට උරුමකම් ඇත්තෙක් වේ. තම දරුවන්ද යහපත් වේ. මේ සංයෝග අයහපත් අයුරින් කේන්ද්‍රයේ සිටියොත් මේ සියල්ල අනිත් පැත්තට හැරේ. ඇතැම් විට මෙසේ වුවහොත් අන්ධවීමට බැරිකමක් නොමැත.  

සිකුරු – චන්ද්‍ර යෝගය  


මේ යෝගය ඇති තැනැත්තා ප්‍රීතියෙන් වාසය කිරීමට, අඹු දරුවන් සමග කෙළි සෙල්ලමෙන් වාසය කිරීමට කැමති අයෙකි. ලක්ෂණ ඇඳුම් පැළඳුම්වලට ස්ත්‍රීන් සමග වාසය ඉතා ප්‍රිය කරයි. පුරුෂ ස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කෙරේ. මේ ග්‍රහ පිහිටීම නරකට සිටියොත් විවාහය අවුල් වීමට ඉඩ තිබේ. ස්ත්‍රී පක්ෂයේ නෑදෑයින් සමග සම්බන්ධය අඩු අයෙක් වේ. විශ්වාසය අඩු, දූෂික රෝගවලටද ගොදුරු වීමටද ඉඩ තිබේ.  


සිකුරු – කුජ යෝගය  


කුජ – සිකුරු කේන්ද්‍රයේ කොහොම සිටියත් (හොඳට නරකට) කුජ – සිකුරු එකට සිටි විට යම්කිසි දක්ෂකමක් වේගයෙක් ඇති වෙයි. ක්‍රියාශූර කෙනෙක් වෙයි. බොහෝ විට අධික කාමාශාවක් හා ඒවායේ ගැලී සිටීමට ප්‍රියත්වයක් දක්වයි. කුජ – සිකුරු සංයෝග ශාරීරික ශක්තිය ගෙන දෙන යෝගයකි. මේ යෝගය යහපත්ව පිහිටියොත් ඉතා ප්‍රීතියෙන් වාසය කරන්නා වූ නිතර සෙල්ලමෙන් කාලය ගත කරන ව්‍යාපාරයන්හි දක්ෂ නිර්භීත ධනවත් කෙනෙක් වේ. කලින් විවාහ වන තරමටම විවාහ ජීවිතය සාර්ථක වේ. විවාහයෙන් විශාල දායාද ලැබේ. කේන්ද්‍රයේ 7 වැන්නේ කුජ සිකුරු යෝගය පිහිටා ඇති අය එයට ගැළපෙන අයෙක් තෝරා ගතහොත් විවාහ ජීවිතය ඉතා සාර්ථක වේ. නැතහොත් විවාහ ජීවිතය අවුල් වීමට ඉඩ තිබේ.  


සිකුරු – බුධ යෝගය  


මෙය ඉතාම ශුභ ඵලදෙන යෝගයකි. මේ යෝගයෙන් උපන් තැනැත්තා සියුම් දේට ප්‍රිය කරන්නා වූ තීක්ෂණ කල්පනාවක් ඇති කාටත් ගැලපෙන ගුණයෙන් යුත් පිරිසිදු ගති ඇති ප්‍රිය වචන කතා කරන අයෙක් වේ. සාහිත්‍යකරණයේ දක්ෂ උගත් මිතුරන් ඇසුරට වඩාත් කැමති දක්ෂ නායකයින්වීමටද පිළිවෙන. මේ යෝගය කේන්ද්‍රයේ නරකට සිටියොත් ව්‍යාපාරවලින් පාඩු ලබන විවාහයද අවුල් වන සමාජයෙන් සැලකිලි අඩු වන කෙනකු වේ.  


සිකුරු – ගුරු යෝගය  


මේ ග්‍රහ දෙපළ හතුරුය. නමුත් මේ ග්‍රහ යෝගය ඉතාම යහපත් පිහිටීමකි. වයස අවුරුදු 40 පමණ වන විට ඉඩකඩම්, යානවාහන, ගෙවල් දොරවල් ලබා සැපවත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය ලැබේ. අනිවාර්යෙන්ම ස්ථිර ආදායම් මාර්ග ඇති කෙනෙක් වේ. වාසනාවන්ත යහපත් ගුණවත් බිරිඳක් ලැබේ. දරුවෝද ඉතා දියුණු තත්ත්වයට පත්වේ. තම දෙමාපියන්ගේ මුල් දේපළ උරුමයද මේ යෝගය ඇති අයට හිමි වේ. මේ යෝගය නරකට සිටියොත් අධික වියදම් කාරයෙක් වේ.  


සිකුරු – ශනි යෝගය  


මේ යෝගයද ඉතාම යහපත් එකකි. සෘජු කරුණාවන්ත ස්ථිර ගතිපැවතුම් ඇති රටේ ගෞරවයට පාත්‍ර වන පුද්ගලයකුද තම දියුණුව ක්‍රමානුකූලවම සිදුවේ. තම රැකියාව ඉතාම විශ්වාසවන්ත ලෙස ඉටු කරයි. තම ආදායම් මැනවින් පාලනය කිරීමට ඉතාම දක්ෂයි. ප්‍රීතිමත් වාසනාවන්ත විවාහයකට උරුමකම් තිබේ. නමුත් විවාහය බොහෝ විට ප්‍රමාද වීමට ඉඩ තිබේ. ඇතැම් විට විවාහ නොවූ අවස්ථාද දක්නට ලැබේ. අනෙකුත් පාප දෘෂ්ටිවලට ලක්වීම එයට හේතුවේ. එපමණක් නොව කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයින්ගේ බලපෑම්ද එයට හේතු වේ. 

 
​ෙම් සිකුරු ශනි නරකට සිටියොත් ඉහත සඳහන් කරන නරක පැත්තට හැරේ. එවිට කේන්ද්‍ර හිමියා දමනය කරගත නොහැකි දූෂිත චරිත ඇත්තෙක් වේ. දවල් කාලයේ උපන් අයෙක් නම් තම මව වැඩි කලක් ජීවත් නොවේ. මේ ඉහත සඳහන් ගති ලක්ෂණ අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම අනුවද වෙනස් වේ. මේ යෝගය කේන්ද්‍රයේ 3-5-9-11 භාවස්ථානවල සිටීනම් ඉහත සඳහන් ගති ලක්ෂණ බොහෝ විට ඒ ආකාරයෙන්ම සිදුවේ.  


සිකුරු – රාහු සංයෝගය  


මේ යෝගය එතරම් යහපත් පිහිටීමක් නොවේ. මෙය කුජ සිකුරු මෙන් අති ධාවනකාරී කාම යෝගයකි. එපමණක් නොව හොඳින් හෝ නරකින් මුදල් උපයා ගත හැකි යෝගයක්ද වේ. වෘෂභ ලග්න හිමියෙකුට විශේෂයෙන් ස්ත්‍රියකට 11 වැන්නේ මේ යෝගය පිහිටීම ඉතාම අශුභ විවාහ ජීවිතය අවුල් කරන එකක්ද වේ. ඇතැම් විට විවාහ කීපයක්ද කරගැනීමට හේතුවේ. රාහු සමග සිකුරු උච්චව සිටීම (විශේෂයෙන් 7 වැන්න මීන රාශිය වී) අයහපත් වේ. අනෙකුත් ප්‍රතිවිරුද්ධ කේන්ද්‍රයේ එයට කුජ සිකුරු වැනි යෝගයක් තිබේ නම් එසේ නොවේ. රාහු සිකුරු තිබෙන කේන්ද්‍ර හිමියන් විවාහ පරික්ෂාවේදී මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.  


සිකුරු – කේතු යෝගය  


මේ සංයෝගය කේන්ද්‍රයේ පිහිටන ස්ථානය අනුව වෙනස් වේ. කේතු ඡායා ග්‍රහයෙකි. මේ අනුව කේතු සමග සිකුරු එක්වූ විට ව්‍යාපාර කටයුතු වලින් ආදායම් ලැබීම ඉතාම අපහසුය. පාඩු විඳීමට සිදුවේ. බංකො​ෙලත් වේ. තමාගේ රැකියාවේදී අවංක නොවේ. මේ නිසා රැකියාව අවුල්කරගනී. කේතු සිකුරු සංයෝග නිසා හොර හොරාට ආදර සම්බන්ධතා පවත්වා ගැනීම නිසා විවාහ ජීවිතයටද බලපෑම් ඇති වේ. කොහොම නමුත් මේ යෝගය එතරම් ශුභ ඵල දෙන යෝගයක් නොවන බව අප අත්දැක තිබේ.  

බහුතරයක් දෙමාපියන් දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකරනවා. කලදවස හරි කටයුත්තක් කර දෙන්න ඕන කියා කියනවා. අපි නැති දවසක වතුර ටිකක් වත් දෙන්න කෙනෙක් ඉන්න එපායැ කියනවා. තමන් කැමති ගැහැනියක් හෝ පිරිමියෙක් දරුවන් වෙනුවෙන් හොයනවා. මෙය ද විවාහය කියන්නේ “නැත” දෙමාපියන්ගේ එකම යුතුකම විය යුත්තේ ගුණයහපත් දරුවකු සමාජයට දායාද කිරීමය. දරුවා වහලෙකු නොවේ. දරුවකු බිහිවූ පසු දරුවා අයිති සමාජයටය. දෙමාපියන්ට නොවේ. පොදු නීතියට යටත්ය. එය තේරුම් ගෙන තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම ලෙස දරුවාට සමාජයේ කොන් නොවී ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කරදී ඔවුන් සමාජයට බාර කිරීමය.

දරුවන් යනු සසර ගමනේ දුක් නැතිකර ගැනීමට බැඳීම් නැතිකරගෙන කුසල් රැස්කර ගැනීමට මිනිසුන් ලෙස ජීවත් වන්නට තාවකාලික නවාතැනකට පැමිණෙන ආත්මයන්ය. දෙමාපියන් විසින් ඉටුකරනුයේ එම තාවකාලික නවාතැන තනා දීමය. මෙය නාම රූප ප්‍රතිසන්දිය ලෙස බුදුන්වහන්සේ කියා ඇති දේම නක්‍ෂත්‍රයේදී ද පෙන්වාදී තිබෙනවා. එම දරුවා ගුණයහපත් විය යුත්තේ අපට පයගසා ජීවත් වන්න සොබා දහම දායාද කර ඇති මේ මහපොළොව පරිසරය අනාගත පරපුර සඳහා රැකදිය යුතු නිසාය.


විවාහය යනු ඔවුන්ගේ පෙර භවයන්ගේ පැතුම් අනුව ඉහතින් දැක්වූ යුතුකම් ඉටුකරලීමට සුදුස්සන් බිහිකර දීමට සුදුසු තත්ත්වයකට පත්වීමය. මෙම රූපස්කන්ධය තුළ එම කටයුත්ත ඉටුකිරීමට ඉන්ද්‍රියන් පිහිටා තිබෙනවා මිස ඉන් විනෝදයක් ලබා ගැනීමට විවාහ වනවා කියා විවාහ වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ඉන්ද්‍රියන් පිනවීම අවශ්‍ය කරුණක් මිස අත්‍යවශ්‍ය කරුණක් කරගත යුතු නැත. විවාහය ගැන දතයුතු බොහෝ කරුණු තවත් ඇත. ඒ ගැන මෙනෙහි කිරීමෙන් යතා තත්ත්වය තේරුම්ගත හැක. විවාහය ලියාපදිංචිය යනු ලිංගික සම්බන්ධකම සඳහා අවසරයක් මිස විවාහ දිවිය පවත්වා ගෙන යෑමට එකම සාදකය නොවන බව තේරුම් ගත යුතුය. විවාහයක් කර ගන්නා දෙදෙනාගේ පැතුම් අනුව විවාහ පරීක්‍ෂාව නිසි ලෙස කිරීමෙන් පසු සුදුසු අය එක්වීම විය යුතුය. මෙය කාමනය ගෙවීමක් ලෙස ද නක්‍ෂත්‍රයේ දක්වා ඇත. පෙර භවයන් හිදී කරන ලද යම් යම් පාපකර්ම ගෙවා සසර ගමන කෙටිකර ගැනීමක් ද මේ තුළින් සිදුවන බව තේරුම් ගත යුතුය.


විවාහ පරික්‍ෂාවේදී පොරොන්දම් පමණක් ගලපා විවාහය සිදු නොකළ යුතුය. පොරොන්දම් යනු චන්ද්‍රයාගෙන් අප සිරුරට වන බලපෑම් නිසා ඇතිවන යම් යම් තත්ත්වයන් පෙන්වා දීමක් පමණි. තවත් ග්‍රහයින් අටදෙනකුගේ බලපෑම් ඇතිවන බව සමහර ජ්‍යොතිෂයවේදීන් නොදන්නවා දැයි සැකත් ඇතිවෙනවා. පොරොන්දම් පමණක් ගලපා විවාහය සුදුසු යැයි කීම විශාල අපරාධයකි.


විවාහයක් සඳහා ප්‍රධාන වශයෙන් සොයා බැලිය යුතු අංග දෙකක් තිබෙනවා එකක් කේන්ද්‍ර ගැලපීමය. මෙම කරුණු කාරණා ගොන්න සැලකිල්ලට ගත් කල එය 60% – 70% පමණ විය හැක. ඉතිරිය ඔවුන්ගේ ජීවත් වන පරිසරයේ බලපෑම්ය. කුඩා කල සිට අහන දකින දේ අප ශෛලවලට කාවදිනවා. වැරැදි දේ ඉක්මනින් වැලඳ ගැනීම සිදුවනවා. මෙය දෙමාපියන් තේරුම් ගෙන දරුවන්ට නරක ආදර්ශ නොලැබෙන ලෙස ගෙදර කටයුතු කරගෙන යා යුතුය. නරක ආදර්ශ නොලැබෙන ලෙස සංවර විය යුතුය. මාධ්‍ය තුළින් ද අසාධාරණ බලපෑම් ඇති වනවා. ඇහෙන දකින දේ පමණක් නොව ඇසුරෙන් ද යම් යම් බලපෑම් ඇති වනවා. වැරැදි පුරුදු ප්‍රතිපත්ති ද තදබල දෝෂ ඇතිකරවන බව දත යුතුය. මේවා පිළිබඳව දරුවන් දැනුවත් නොකරන නිසා ඒවා හරි යැයි සිතා වැළඳ ගන්නවා. පවුල් ජීවිතයේ ප්‍රශ්න වලදී පුරුදු ඉස්සරහට එනවා. මේවා ලග්න කුණ්ඩලියේත් කියන්න අපහසුයි. මේවා පිළිබඳව අවබෝධයක් නොමැතිව විවාහය සුදුසු යැයි කීම සුදුසු නැත.


කේන්ද්‍ර ගැලපීම හොඳ අවබෝධයකින් කළ යුතු කටයුත්තකි. ඕනම අයකු විවාහ දෝෂ යැයි කියන්නේ කේන්ද්‍රයේ දකින දෝෂ පමණක් යැයි හිතා කතා කරනවා. ඒ නිසා ඔවුන්ව මනා ලෙස දැනුවත් කළ යුතුය. පොරොන්දම් ගැලපීමේදී අත්‍යවශ්‍යම පොරොන්දම් ගැලපේ දැයි පළමුව සොයා බලා අනිකුත් දෝෂ පරීක්‍ෂා කළ යුතුය.


දෝෂ ලෙස මුලින්ම දැක්විය හැක්කේ කාලසර්ප දෝෂයයි. මෙය ඉතා දරුණු විවාහ දෝෂයකි. දෙවනුව කුජ දෝෂය දැක්විය හැක. මෙය මංගලික් දෝෂ භෟම දෝෂ ආදී නම් වලින්ද හඳුන්වනවා. ලග්න කුණ්ඩලියේ යම් යම් භාව හා රාශි තුළ කුජ ඇතිවීම නිසා ඇතිවන දෝෂයකි. කුජ දෝෂය භාව හා රාශි තාරකාව අනුව බලපෑම් අඩු වැඩි විය හැකිය. පොදුවේ අසහන තත්ත්වයන්ට පත්වන දෝෂයකි. කාන්තාවකගේ කුජ 7 වැන්නේ තැන්පත්ව ඇති විට පොදු කියමනක් තිබෙනවා මිනිසා මැරෙනවා කියා. එය බොරුවක් බව මගේ අත්දැකීමයි. ඒ පිරිමියාගේ කේන්ද්‍රයෙහි බල දුබලකම් අනුව ඔහුගේ මරණය සිදුවන නිසාය. නමුත් කේන්ද්‍රයෙහි දුර්වලතාවයන් ඇත්නම් කුජ 7 සිටින විට ඇතිවන කලත්‍ර දෝෂය නිසා එසේ සිදුවීමට ඉඩ ඇත. ශනි මංගල දෝෂය ද විවාහ දිවියේ සතුට නැතිකරන දෝෂයකි. ශනි ග්‍රහයා ලෝකෝත්තර ග්‍රහයෙකු යැයි සඳහන් නිසා විවාහ දිවියේ සතුට ලබන්නට තිබෙන ඉඩකඩ අහුරනවා. මෙය ශනි කුජ යෝගවීම හෝ දැකීම නිසා ඇතිවන දෝෂයකි. මෙහි පල විපාක ග්‍රහයා තැන්පත් ස්ථානය හා තත්ත්වය අනුව අඩු වැඩි විය හැක. චන්ද්‍ර මංගල යෝගය ද දැනෙන විපාක දෙන විවාහ දෝෂයකි. චන්‍ද්‍රයා කුජ දැකීම හෝ සංයෝග වී තැන්පත්වීම මේ දෝෂයයි. සැකය හා සිත චංචල වීම මේ දෝෂයයි.


ඉහත දෝෂ ප්‍රධාන දෝෂ ලෙස දැක්විය හැක. තවත් දෝෂ කීපයක් ග්‍රහයන් දෘෂ්ටි මත සිදුවිය හැක. මේ සියලු දෝෂ මගහැරගෙන විවාහයක් කරගන්නවා තියා සිතනවානම් විවාහයක් කරගන්න ඉතා අපහසුවනවා. තිබෙන දෝෂ දේව ආශිර්වාද ලබාගෙන ශාන්තිකර්ම මගින් දුබල කර ගත් විට සාර්ථක විවාහ දිවියක් ගත කළ හැක.


රවි සිකුරු යෝග වීම හෝ දැකීම ද දෝෂයකි. කුජ සිකුරු, සංයෝග වීම හෝ දැකීම මෙයට වඩා තරමක බලවත් දෝෂයකි. මෙහි පලාඵල මෙයින් ප්‍රකාශ කිරීම නොසුදුසු බවයි මගේ හැඟීම. ගුරු හෝ ශනි බලවත් නම් දෝෂ අවම විය හැක. කෙසේ වෙතත් දෝෂ භංග වනවා කීම පිළිගැනීමට කිසිම පිළිගත හැකි හේතු ඉදිරිපත් කර නැත. අවම වන බවට හේතු දක්වා ඇති නිසා ඒ බව මගේ පිළිගැනීමයි. ලබා ඇති අත්දැකීම් ද මෙයට හේතුවකි. මේ යෝග දෙක ඇති අයෙක් වී නම් විවාහයට සුදුසු වන්නේ එයටම ගැලපෙන යෝග ඇති අයෙක්මය.


ප්‍රධාන දෝෂ හැටියට පෙන්වා දී ඇති දෝෂවල බල අවමකර ගන්න ශාන්තිකර්ම වල පිහිට ලැබිය යුතුමය. තමාට යම් අසනීප තත්ත්වයක් ඇති විට බෙහෙත් ගන්න යන්න ලැජ්ජාවන්නේ නෑ නේද? අන්න ඒ වගේ මේ ග්‍රහ දෝෂත් අසනීපයක් සේ සිතා දේව ආශිර්වාදය ලබන්න ශාන්තිකර්මවල පිහිට ලබාගන්න ලැජ්ජා වන්න එපා. හැම දේම ග්‍රහයන්ට හා පෙර කරුමයට කියා පසුතැවෙන්න එපා. තමන්ගේ යම් අඩුපාඩු තත්ත්වයන් හැගෙන දැනෙන වේලාවලදී හෝ කේන්ද්‍රය බලා විශ්වාසවන්ත ලෙස දෝෂ තිබෙනවා යයි දැන්වූ විට පමණක් යන්ත්‍ර හෝ වෙනත් ශාන්ති කර්ම කරවා ගත්තාට කම් නැත. රැවටිලිවලට හසු නොවී ඒ කටයුතු කර ගැනීමට වගබලා ගන්න. යන්ත්‍ර පැළඳීම සාර්ථක ශාන්තිකර්මයකි. ඒත් ඒ කරන පුද්ගලයා හා පළඳින තැනැත්තා කිලිපිලි ආදියට හසුනොවී එය පිළියෙළ කර පැළඳිය යුතුය. නිසි අයුරු ප්‍රතිපත්ති උපදෙස් පිළිපැදිය හැකි නම් පමණක් යන්ත්‍ර පළඳින්න. වසරෙන් වසර ඒවා අලුත් කරවා ගත යුතුය. එහි බලය හීනවන බව මතක තබාගන්න.
මේ දෝෂ සඳහා ප්‍රධානම පිළියම නම් තමුන්ගේ දෝෂය තේරුම්ගෙන සිත දැඩි කරගෙන සිත පාලනය කර ගැනීමයි. මේ මගින් බොහෝ දෝෂ අවම කරගත හැක. මගේ අත්දැකීම් නිසා මේ බැව් තරයේම කියනු කැමැත්තෙමි. සිත දැඩි කරගන්න තුන් සිත ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය. දුවන දෙසිත නිසා අපට බොහෝ විට නොදැනීම කරදරවලට පැටලෙනවා. රැල්ලට ගසාගෙන යනවා. සිත පාලනය කරගන්න තුන් සිතම දැහැන්ගත කරගත හැකි සරල භාවනා ක්‍රමයක් ඇත. එය “ශුන්‍ය චිත්ත භාවනාව” නමින් හඳුන්වනවා. ඒ ගැන දැනුවත් වීම සිත දමනය කර ගන්න පහසු මඟකි. එය යහපත් දිවියක් ගත කරන්න හොඳම අධිෂ්ඨාන ප්‍රජාවකි. දෙවි දේවතාවුන් වහන්සේලා ගැන තිබූ විශ්වාසය ඇතිකර ගෙන මිරිගු පස්සෙන් යන රැල්ලෙන් මිදී උන්වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලබාගන්න. දෝෂ නිවාරන පිළියම් පහත දක්වමි.


ප්‍රධාන දෝෂය ලෙස දැක්වූ කාලසර්ප දෝෂයට කාලසර්ප යන්ත්‍රය පළඳින්න. මෙය 1008 වරක් ජීවම් කළ යුතු යන්ත්‍රයකි. සඳුදා, බදාදා වැටකෙයිය ගසට කෙසෙල් ගසකට සාත්තු කරන්න. ශිව දෙවියන්, ගණ දෙවියන්, හනුමන් දෙවියන්, නාග දෙවියන්, මානස නාග පතිනි දෙවගන, ගම්කොරටු බාර දෙවියන් පුදන්න. මේ ආශිර්වාද ලැබීම දිනපතා කරන්න. හඳුන් කූරක් දල්වා කිරීම ප්‍රමාණවත්. මුදල් ඇතිවිට දේවාලයකට ගොස් පුද පූජා තබා ආශිර්වාද ලබාගන්න.


කුජ දෝෂය දුබල කරගන්න අවශ්‍ය යන්ත්‍රය කේන්ද්‍ර සටහන බලා සුබ දින වේලාවලදී පළඳින්න. අඟහරුවාදා දිනවලදී කතරගම දෙවියන් ගණ දෙවියන් ප්‍රමුඛ දේව සභාවටම පුද දී ආශිර්වාද ලබා ගන්න. කොලොන් ගසට කොහොඹ ගසට සත්කාර කරන්න. ස්තෝත්‍ර ගසාත්‍රි මන්ත්‍ර නිතර ගායනා කරන්න. යන්ත්‍ර පැළදීම ප්‍රතිපත්ති රැකගෙන කළයුතු බව නැවත සිහි කරවිමි. කුජ 7 සිටින කාන්තාවන් කාලත්‍ර දෝෂය සඳහා විශේෂ පූජා පැවැත්වීම සුදුසුය.


ශනි මංගල දෝෂය සඳහා නුග බෝධියට සත්කාර කරන්න විෂ්ණු දෙවියන්ට පුද දී ආශිර්වාද ලබාගන්න. කපුටු දානය දෙන්න. ඇත්දල පළඳින්න. මුදුවක් නම් වඩා හොඳයි. අයත් වන දෙවියන්ගේ ආශිර්වාදය ඉන් ලැබේ. මේ දෝෂය අඩු ආශාවන් නිසා සතුට ලබාගන්න නොදෙන තත්ත්වයන් ඇතිවෙනවා. ඒ නිසා සිත දැඩි කරගෙන ආසාවන් උත්තේජනය වන අයුරින් අධිෂ්ඨාන පූජා කරන්න.
චත්‍ර මංගල දෝෂය අවම කරගන්න දේව සබාවට මෙන්ම යක් ආණ්ඩුවේ උන්වහන්සේලාට පුද පූජා තබන්න ආශිර්වාද ලබාගන්න. කේන්ද්‍රයේ බලවත්ව ඉන්න ග්‍රහයින්ගේ බලය වැඩිකරගෙන ආශිර්වාද ලබාගන්න ශාන්ති කර්ම කරගන්න. මෙය සැකය හා සිත සසල වන තත්ත්වයන් ඇති කරවන දෝෂයක් නිසා මෙය පාලනය කරගත හැකි ප්‍රධානම පිළියම නම් සිත දැඩිකර ගැනීම බව මතක තබාගන්න.


රවි සිකුරු හා කුජ සිකුරු දෝෂය නිසා ඇතිවන දැඩි ආශාවන් ද එම දුර්වලකම් තමාම අවබෝධ කරගෙන සිතින් පාලනය කරගත යුතුය. ආශාවන්ට ඉඩ දී සිත දුවන විදිහට දිව්වොත් අනිවාර්යයෙන්ම කරදරයේ වැටෙනවාමයි. පෙර සඳහන් කළ භාවනා ක්‍රමයෙන් මේවා පාලනය කරගත හැකි බව මගේ අත්දැකීමයි.


පෙර කරුමෙට ග්‍රහ අපලයට ජීවිතය ගසාගෙන යන්න ඉඩතියන්න එපා. ශාන්ති කර්ම දේව ආශිර්වාද පුද පූජා මගින් අධිෂ්ඨාන පූජා වලින් ප්‍රයෝජන ලබා විවාහ දිවිය සරු කරගන්න. විවාහ දිවියට ඇතුල්වන අය ඒ ගැන හොඳ අවබෝධයක් ලබා තිබීම ඉතාම අවශ්‍යයි. විදේශ රටවල ලිංගික අධ්‍යාපනය ලබාදෙනවා. මෙහි ඒ තත්ත්වයන් නැති නිසා පොතපත ලිපි කියවීමෙන් හෝ දැනුමක් ලබාගන්න. පිරිමි අය කාමය පිළිබඳව දැනුවත් විය යුතුය. පහත සඳහන් දේ ගැනත් සිත යොමන්න.

කසාදයක් කරගන්නට                                                සිතුනවිට
ගැහැනියගේ ග්‍රහචාරය                                           සොයන්නට
පෙර නැන්දාගේ ග්‍රහචාරය                                     සොයන්නට
සිතට ගනින් යුග දිවියේ                                            සැපගන්ට

කසාදයක් කරගෙන යන පරිසරයට                     ගැලපෙන්නට
සිතට ගනින් තැනට සුදුසු නුවණින් දිවි                     ගෙවන්නට
අම්මගෙ කට ගෙන ගියොතින් සිදුවෙයි දුක්                     විදිනට
එයම හේතුවක් වෙයි දික්                                           කසාදෙට

පොදුවේ සෙත් කවි කීමෙන්ද යහපත් ප්‍රතිඵල ලබා ගතහැක. අවසාන වශයෙන් යුග දිවිය ගැන බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ සුක්ත නිපාත වග්ගයේ 23, 60, 95 ශ්ලෝකයෙ කියා ඇති උපදේශය සිංහලෙන් මෙසේ දක්වමි.

බිරි දක්වා ගැහැනිය තම හිමිහට මව්                           වියයුත්තේ
කලන මිතුරු සොයුරිය ලෙස හැම කටයුතු                කළයුත්තේ
තම සිරුරෙන් දිය හැකි සැප ඔහු හට නිති දිය                යුත්තේ
එවන් ඇයට සතුට සැපත සැනසුමකිනි ලබා                    ඇතේ

අන්ධ විශ්වාසයෙන් අන්ධ භක්තියෙන් තොරව අවබෝධයෙන් කටයුතු කර දිවිය සරු කරගන්න. දෙවි පිහිටයි.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
en_GBEnglish (UK)
× WhatsApp