අනාගත සහකරුගේ රැකියාව

ඔබ විවාහ දිවියට පත් වන සහකරුවා හෝ සහකාරිය පිළිබඳ කියවෙන්නේ ඔබේ කේන්ද්‍රයේ හත්වැනි කොටුවෙනි. හත්වැනි භාවය උපයෝගි කරගෙන සහකරුවා සහකාරිය සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කරගත හැකිය. ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් ඉදිරි ලිපියකින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. මෙහිදී බලාපොරොත්තු වන්නේ සහකරුවාගේ රැකියාව සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටයි. මේ සඳහා කේන්දරයේ සහකරුවා නියෝජනය කරන හත්වැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එනම් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ සිට හතරවැනි භාවයයි. මේ අනුව ඔබේ කේන්ද්‍රයේ සිවු වැනි කොටුව තුළින් ඔබේ සහකරුවාගේ රැකියාව සම්බන්ධව සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතී.

ඔබේ සිවු වැනි භාවය තුළ සුබ ග්‍රහයින් බලවත්ව සිටීම ඉතාම යහපත් වන අතර ඔබගේ සහකරුවාගේ රැකියාව ඉතාම යහපත් උසස් මට්ටමේ එකක් බව හඳුනා ගැනීමට එමඟින් හැකියාව ඇත. මෙහිදී හතර වැන්න අධිපති ග්‍රහයා පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.

සිවු වැන්නේ කිසිම ග්‍රහයකු නොමැති නම් ඔබගේ සිවු වැන්නාධිපති ග්‍රහයා සිටින භාවය තුළින් සහ සිවුවැන්නට ලැබෙන අනිකුත් ග්‍රහ දෘෂ්ටි තුළින් රැකියාව සම්බන්ධව තීරණය කළ යුතුය. සිවුවැන්නට වඩාත් බලපෑම් කරන ග්‍රහයාගේ ස්වභාවයට අනුව රැකියාවේ ස්වභාවය තීරණය වෙයි. 22 දෙර්කාණාධිපති වී කිසිම ග්‍රහයකු සිවු වැන්නේ තැන්පත් වීම සුබ නොවන අතර එමඟින් ඔබගේ සහකරුවාගේ හෝ සහකාරියගේ රැකියාවේ ගැටලු අවහිරතා හෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකි බව පෙන්වයි. රවි ග්‍රහයා බලවත්ව සිවු වැන්නේ සිටීම තුළ ඔබේ සහකරුවාට උසස් මට්ටමේ රැකියාවක් හිමි බව කිව හැකිය. ඔහු හෝ ඇය බොහෝ විට රාජ්‍ය අංශයේ ඉහළ තනතුරක් දැරීමේ හැකියාව පවතී. තම සහකරු හෝ සහකාරියට ගෞරව නම්බුනාම තනතුරු ආදියෙන් උසස්වීම් ලැබීමට ද එය හේතු වෙයි.

සඳු ග්‍රහයා බලවත්ව 4 වැනි භාවයේ තැන්පත් වීම තුළ තම සහකරු හෝ සහකාරිය ව්‍යාපාර ක්ෂේත්‍රයේ හෝ විධායක ශ්‍රේණියේ ඉහළ තනතුරක් දරන කෙනෙකු බවට පත් වෙයි. නිතර මහජනතාව සමඟ සම්බන්ධ වී කරන රැකියාවන්ද ඊට අයත් වෙයි.

ඔබගේ කේන්දරේ සිවුවැනි භාවය තුළ කුජ ග්‍රහයා තැන්පත් වීමෙන් ඔබගේ සහකරුවා හෝ සහකාරිය ඉතා උසස් මට්ටමේ රැකියාවක නියුතු බව පෙන්වන ලක්ෂණයකි. ඉංජිනේරු, තාක්ෂණ, වෛද්‍ය, ගුරු සේවය මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයන්ද ඊට අයත් වේ. නමුත් මෙය විවාහය සම්බන්ධ භෞම දෝෂයක් වන අතර ඔබේ සහකරුවාගේ කේන්දරයෙන් එම දෝෂය භංග වී තිබීම ඉතා යහපත් වන අතර එසේ නොමැති විට විවාහය තුළ යම් ගැටලු ඇතිවිය හැකිය.

ඔබගේ සිවු වැනි භාවයේ බුධ බලවත්ව තැන්පත් වීම හෝ බුධගේ බලවත් දෘෂ්ටියක් සිවුවැන්නට වැටීම තුළ සහකරු සහකාරිය බුද්ධිමත් උසස් උගත් අයෙක් වන අතර පුවත්පත් ලිපි ලේඛන හෝ මාධ්‍ය ක්ෂේත්‍රය, ගුරු, නීතිඥ, කාර්යාල සේවක, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරී ආදී ඒ හා සමාන තනතුරක් දරන කෙනෙක් විය හැකි බව පෙන්වයි.

ගුරු ග්‍රහයා සිවු වැන්නේ බලවත්ව තැන්පත් වීම සහකරුවා සහකාරිය ඉතා උසස් මට්ටමේ රැකියාවක් හිමියෙකු බව පෙන්වන පෙරනිමිත්තක් වෙයි. විශේෂයෙන් මොවුන් සමාජය තුළ ගෞරවනීය තත්ත්වයක් දරන අතර සමාජයේ ගෞරවනීයව ජීවත්වෙන පුද්ගලයන් ද වෙයි. තම ආත්ම ගරුත්වය රැකගන්නා අය වෙයි. සියලුම ගෞරවනීය වෘත්තීන් මෙයට ඇතුළත් කළ හැකිය. බල දුබලතාවය සහ ග්‍රහ දෘෂ්ටිය අනුව වෙනස් වෙයි.

සිකුරු ග්‍රහයා 4 වැනි භාවයේ තැන්පත් නම් හෝ බලවත් දෘෂ්ටිය සිවුවැන්නට වැටීම ඔබ විනෝදකාමී පුද්ගලයෙක් කරනවා වගේම ඔබ තෝරා ගන්නේද ඉතාමත් සුන්දර කලාකාමී යහපත් හදවතක් ඇති පුද්ගලයෙක් වෙයි. වෙළෙඳ ව්‍යාපාර, කලා ක්ෂේත්‍රය, ගුරු වෘත්තිය, විවිධ මූල්‍ය සමාගම් හා සම්බන්ධ වෘත්තීන්, ඔහුගේ ඇයගේ රැකියාව බවට පත්වෙයි.

සෙනසුරු 4 වැනි භාවයේ බලවත්ව තැන්පත් වීම උසස් මට්ටමේ රැකියාවක් සහකරුවා සහකාරිය දරන බව පෙන්වන අතර දුබල සෙනසුරු රැකියාව ඉතා දුෂ්කර එකක් බව අඟවනවා සේම සාමාන්‍ය කම්කරු රැකියාවක් හිමි අයකු ද විය හැකිය. වෙනත් සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටිය සිවුවැන්නට වැටීමෙන් ඉතා යහපත් තත්ත්වයට රැකියාව පරිවර්තනය කරයි. රාහු ග්‍රහයා 4 වැනි භාවයේ තැන්පත් වීම තුළ බොහෝ විට ඔබගේ සහකරුවා සහකාරිය විවිධ තැන්වලට ගොස් රැකියාව කරන කෙනෙක් විය හැකිය. එය බොහෝ විට ඇවිදිලි සහිත එකක් වීමට පුළුවනි. සිවුවැන්නේ කේතු තැන්පත් වීම තුළ බොහෝ විට එක් තැනකට වී කරන සාමාන්‍ය ආකාරයේ රැකියාවක නියුතු කරවයි. බලවත් සුබ දෘෂ්ටි ලැබේ නම් ඉතා උසස් මට්ටමට දියුණු කර ගනී.

මෙයට අමතරව සිවුවැන්නේ යෙදෙන විවිධ ග්‍රහ සංයෝග තුළින් සහ දෘෂ්ටි තුළින් රැකියාවේ විවිධ තරාතිරම් සහ තත්ත්වයන් වෙනස් භාවයට පත් වෙයි. උදාහරණ ලෙස ඔබේ කේන්ද්‍රයේ සිවුවැන්නේ කුජ සෙනසුරු යෝගව තැන්පත් වීම සහකරුවා සහකාරිය වෛද්‍ය ඉංජිනේරු ආදි උසස් රැකියාවක් දරන අයකු බවට පත් කරයි.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
en_GBEnglish (UK)
× WhatsApp